NSW හි ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර කිරීම

මෙහි ඇති තොරතුරු මගින් මරණය සහ මියයාම සම්බන්ධයෙන් කථා කරයි. මෙම තොරතුරු ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර කිරීම සම්බන්ධ තොරතුරු සොයන සංස්කෘතික සහ භාෂාමය වශයෙන් විවධවූ ප්‍රජාවන් සඳහාවේ. ඔබගේ භාෂාවෙන් තොරතුරු NSW සෞඛ්‍යය වෙබ් අඩවිය මගින් ලබාගත හැකි අතර ඔබට උපකාර කිරීම සඳහා භාෂාණ පරිවර්තකයන් සිටී.

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර කිරීම සමහර අය සහ ඔවුන්ගේ පවුලේ අයට සංවේදී මාතෘකාවක් විය හැකිය. ඔබගේ වටිනාකම් සහ විශ්වාසයන් සමඟ ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර කිරීම ගැලපේද යන්න සහ එය ඔබගේ නිසි තේරීමද යන්න තීරණය කිරීම සඳහා ඔබගේ සමීපයන් සහ ප්‍රජාව සමඟ කථා බහ කිරීමට ඔබ බලාපොරොත්තු විය හැකිය.

Last updated: 24 November 2023
Download

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර කිරීම යනු කුමක්ද?

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර කිරීම යනුවෙන් අදහස් වන්නේ සමහර අය හට මියයාම සඳහා වෛද්‍ය උපකාර ලබා ගැනීමට වෛද්‍යවරයෙකුගෙන් ඉල්ලා සිටිය හැකි වීමයි.

මෙය සෑම අයෙකුටම අදාල නැත - ඔබ විසින් සුදුසුකම් ලැබීමේ නිර්ණායකයන් සම්පූර්ණ කල යුතු අතර සුදුසුකම් ලබන සෑම අයෙකුම මෙය තෝරා නොගනු ඇත. එය ඔබගේ තේරීමයි. ඔබ විසින් තෝරා ගනු ලබන ස්ථානයකදී සහ වේලාවකදී ඔබගේ මරණය අත්කර ගැනීම ගැනීම සඳහා ඔබ විසින් බෙහෙත් ලබා ගැනීම හෝ ඔබට බෙහෙත් ලබාදීම සිදු කරනු ඇත.

අනුමැතිය ලත් සහ ඒ සඳහා විශේෂිත පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකු විසින් පමණක් ඔබට ඒ සඳහා බෙහෙත් ලබා දිය හැකිය.

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගත හැක්කේ කා විසින්ද?

ඔබ හට ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීමට අවශ්‍ය නම්, පහත නිර්ණායකයන් සැපිරිය යුතුය:

  • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය. වයස අවුරුදු 17 සහ ඊට අඩු අය මේ සඳහා සුදුසුකම් නොලබයි
  • ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ඕස්ට්‍රේලියාවේ නිත්‍ය වාසිකයෙකු හෝ එක දිගට ඕස්ට්‍රේලියාවේ අවම වශයෙන් වසර තුනක් ජීවත්වී සිටිය යුතුය
  • අවම වශයෙන් NSW හි මාස 12 ක් පදිංචිව සිටිය යුතුය.
  • මාස 6 කට අඩු කාලයකදී ඔබගේ මරණය සිදුවිය හැකි රෝගයක් ඇතිනම් හෝ ඔබට නියුරොඩිජෙනරෙටිව් රෝගය ඇතිනම් (ඔබගේ මධ්‍යම ස්නායු පද්ධතියේ සෛල ක්‍රියාකාරිත්වය නැවතීම හෝ මියයාම) මාස 12 කට අඩු කාලයකදී ඔබගේ මරණය සිදුවීම.
  • ඔබට දැඩි වේදනාව ගෙන දෙන රෝගයක් ඇතිනම්. වේදනාව ශාරීරික, මානසික, සමාජ හෝ භවාත්මක විය හැකිය. ඔබගේ වේදනාවේ මට්ටම තේරුම් ගැනීම සඳහා ඔබගේ වෛද්‍යවරයා ඔබ සමඟ කථා බහ සිදු කරන අතර ඔබගේ වේදනාව කළමණාකරණය කර ගැනීමට උපකාර කිරීම සඳහා ඔබට ඇති විකල්ප  පැහැදිලි කර දෙනු ඇත.
  • මුළු ක්‍රියාවලිය පුරාම ඔබගේ තීරණ ගැනීමට සහ ඒවා සන්නිවේදනය කිරීමට ඔබට හැකියාව තිබිය යුතුය.
  • ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීමට අවශ්‍ය විය යුතුය. ‘ස්වේච්ඡාවෙන්’ යනු එය ඔබගේ තේරීම විය යුතුය.

මානසික රෝගයක් හෝ ආබාධිතබවක් ඇති අයෙකු වීම මගින් පමණක් සුදුසුකම් ඇති පුද්ගලයෙකු නොවේ. කෙසේවුවද, ඔබ ඉහත සියළු නිර්ණායකයන් සපුරාලන්නේ නම් සහ ඔබට ආබාධිතබවක් හෝ මානසික රෝගයක් ඇතිනම් (වැදගත් වන්නේ ඔබට තීරණ ගැනීමේ සහ ඒවා සන්නිවේදනය කිරීමේ හැකියාව තිබීමවේ), ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීම සඳහා ප්‍රවේශය ලබා ගත හැකිය.

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීම සඳහා ප්‍රවේශය ලබා ගන්නේ කෙසේද?

NSW හි ඔබ විසින් අනුගමනය කල යුතු නෛතික ක්‍රියාමාර්ග ඇත. බොහෝ පියවර සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය වේගයෙන් ක්‍රියාවලියේ ඉදිරියට යා හැකිය.

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර සම්බන්ධයෙන් ඔබගේ වෛද්‍යවරයාගෙන් විමසීම මගින් මෙය ආරම්භ කරන්න. බොහෝ අය සම්බන්ධයෙන් මේ ඔවුන්ගේ අසනීපය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා දෙන කණ්ඩායමේ වෛද්‍යවරයෙකි.

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර කල හැක්කේ NSW හි සමහර වෛද්‍යවරුන් හට පමණි. ඔබගේ වෛද්‍යවරයා විසින් ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර කිරීම සඳහා උපකාර නොකරන බව ඔබට කියා සිටියහොත් ඔබ විසින් NSW Voluntary Assisted Dying Care Navigator Service (NSW ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර රැකවරණ නැවිගේටර් සේවාව) (විස්තර පහත ඇත) සමඟ සම්බන්ධ විය යුතුය. රැකවරණ නැවිගේටර් සේවාව මගින් ඔබට වෛද්‍යවරයෙකු සොයා ගැනීමට උපකාර කිරීම සහ සහ ඔබගේ ප්‍රශ්නවලය පිළිතුරු සැපයීමද කල හැකිය.

ඔබ විසින් දුරකථන අංක 131 450 ඔස්සේ භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවාව (TIS National) අමතා දුරකථන අංක 1300 802 133 ඔස්සේ NSW Voluntary Assisted Dying Care Navigator Service අමතා ඔබට භාෂා උපකාර අවශ්‍ය බව දන්වන්න.

ඔබගේ පවුලේ අය, මිතුරන් සහ රැකවරණ කරුවන්ගේ කාර්යභාරය

සමහර අය විසින් මරණය සහ මියයාම සම්බන්ධ තීරණ පවුලක් වශයෙන් එක්ව ගැනීමට තීරණය කල හැකිය.

ඔබට ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීමට අවශ්‍ය බව හැඟේ නම් ඔබගේ සමීපතමයන් සමඟ මෙම සංවාද සිදු කල හැකිය.

මෙය වැදගත් වන්නේ සාමාන්‍යයෙන් ඔබගේ සෞඛ්‍යය සම්බන්ධ තීරණ ගැනීම හෝ ඔබ වෙනුවෙන් වෛද්‍යවරයාට කථා කිරීම වෙන අයෙකු මගින් සිදුකරන අවස්ථාවලය.

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීුම සම්බන්ධයෙන් ඔබගේ වෛද්‍යවරයාට කථා කරන අවස්ථාවල ඔබ සමඟ ඔබගේ සමීපතමයන් සිටිය හැකි වුවද සමහර වැදගත් රීතීන් නීතියෙහි ඇත:

  • මියයාම සඳහා වෛද්‍ය උපකාර ඉල්ලා සිටිය හැක්කේ ඔබ විසින් පමණි
  • ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීම සඳහා ඔබ වෙනුවෙන් වෙන අයෙකුට ඉල්ලා සිටිය නොහැකිය
  • ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ඉල්ලා සිටින ලෙසට වෙන කිසිවෙකු විසින් ඔබට පැවසිය නොහැක.

ලබාගත යුතු පියවර සහ අනුගමනය කල යුතු ආරක්‍ෂිත පිළිවෙත් නීතිය මගින් දක්වා ඇත. මේ මගින් ඔබට කිසිවෙකු විසින් ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීමට බල නොකරන බවට වග බලා ගනී. එය ඔබගේ තෝරා ගැනීම වන බවටද මේ මගින් වග බලා ගනී.

ඔබගේ පවුලේ සමහර අය හට ඔබ විසින් මිය යාමට සෞඛ්‍යය උපකාර ඉල්ලා සිටීම අවබෝධ කර ගැනීමට දුෂ්කර විය හැකිය. ඔවුන් ඔබ සමඟ එකඟ නොවිය හැකිය. කෙසේවුවද, ඔබ අදාල සියළු නිර්ණායකයන් සපුරාලන්නේ නම් ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීම නැවැත්විය නොහැක.

විවිධ අය හට විවිධ අදහස් තිබිය හැකිය. ඔබ විශ්වාස කරන අයෙකු සමඟ කථාබහ කිරීම වැදගත්වේ.

දැනගත යුතු වෙනත් කරුණු

  • ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීමේ ක්‍රියාවලිය ඔබ විසින් ඕනෑම අවස්ථාවක නැවැත්වීම හෝ තාවකාලිකව අත්හිටුවීම සිදුකල හැකිය. ඔබ විසින් හේතු ලබාදිය යුතු නැත.
  • ඔබට බෙහෙත් නියම කලද, එම බෙහෙත් ඔබරට ලැබුණද, ඔබ විසින් ඒවා ලබා ගත යුතු නැත.
  • ඔබ විසින් බෙහෙත් ලබා ගැනීමට හෝ ඔබට බෙහෙත් ලබා දීම සම්බන්ධ අවසාන තීරණය ගැනීම සඳහා දින, සති හෝ මාස ගණනාවක් ගතවිය හැකි වුවද එයට කම් නැත.
  • ඔබගේ සමීපතමයන් සිටින අවස්ථාවේී ඔබගේ නිවසේදී බෙහෙත් ලබා ගත හැක. රෝහලක් හෝ වයස්ගත රැකවරණ පහසුකමක් වැනි වෙනත් ස්ථානයකදී ඔබට බෙහෙත් ලබා ගැනීමට අවශ්‍ය නම් වුවද ඔබගේ සමීපතමයන් ඔබ සමඟ සිටිය හැකිය. ඔබට NSW වලින් පිටත ස්ථානයක බෙහෙත් ලබා ගත නොහැක.
  • ඔබගේ ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර කරන වෛද්‍යවරයා සහ/හෝ ඖෂධවේදියා විසින් බෙහෙත් තබා ගන්නා ආකාරය ඇතුළු වැඩිදුර විස්තර ලබා දෙයි. ඒවා ආරක්‍ෂාකාරීව තබා ගැනීම සම්බන්ධ රීතීන් ඇත.
  • වෛද්‍යවරුන් විසින් ඔබගේ පුද්ගලිකතාවය සහ රහස්‍යභාවය රැකීම සඳහා වගකීමෙන් බැඳී සිටී. මේවා අතරට ඔබගේ ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබගේ වෛද්‍යවරයා සමඟ සිදුකල සාකච්ඡා ඇත. ඔබ විසින් අවසර ලබා දුනහොත් මිස ඔබගේ තීරණය සම්බන්ධයෙන් ඔබගේ පවුලේ අය, මිතුරන් හෝ රැකවරණකරුවන් සමඟ කථාබහ කල නොහැක.
  • හුදෙකලාවූ රෝගීන් සඳහාවූ ගමන් සහ වාසස්ථාන උපකාර වැඩසටහන මගින් ඔබ NSW හි ප්‍රදේශීය හෝ දුරස්ථ ස්ථානයක ජීවත් වන්නේ නම් ගමන් සහ වාසස්ථාන වියදම් සම්බන්ධයෙන් මූල්‍යමය උපකාර ලබාදෙයි
  • ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර කිරීම සහ සියදිවි හානිකර ගැනීම වෙනස්වේ. NSW හි මියයාමට වෛද්‍ය උපකාර ඉල්ලා සිටීම සියදිවි හානිකර ගැනීමක් නොවේ.
  • ඔබගේ මරණ සහතිකයේ ඔබගේ මරණයට හේතුව ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීම ලෙස සඳහන් නොකරයි.

ජීවිතය අවසානයේ ලබාදෙන රැකවරණ

ඔබ සහ ඔබගේ වෛද්‍යවරයා ඔබගේ අනාගත රැකවරණය සම්බන්ධ අවශ්‍යතා, බලාපොරොත්තු සහ ප්‍රමුඛතා සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් එක්ව කටයුතු කරනු ඇත. මෙයට ඔබගේ ජීවිතය අවසානයේ ඔබට ඇති තේරීම් මොනවාද යන්න දැනගැනීම ඇතුලත්වේ.

ඔබ විසින් ගනු ලබන ඕනෑම තීරණයක් හට NSW සෞඛ්‍යය රැකවරණ ක්‍රමය මගින් ගරු කරනු ඇත.

ඔබ විසින් ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීම තෝරා ගතහොත් ඔබට අවශ්‍ය පැලියටිව් කොයාර් වැනි වෙනත් රැකවරණ තව දුරටත් ඔබට ලබාගත හැකිවනු ඇත.

පැලියටිව් කෙයාර් සම්බන්ධ වැඩිදුර දේ ඉගෙන ගන්න: වේදනා නාශක රැකවරණ.

NSW ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර රැකවරණ නැවිගේටර් සේවාව

රැකවරණ නැවිගේටර් සේවාව රෝගීන් සහ ඔවුන්ගේ පවුලේ අය ඇතුළු සෑම දෙනා හටම උපකාර සඳහා ඇත.

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර කිරීම සම්බන්ධ ප්‍රශ්නවලට ඒ මගින් පිළිතුරු ලබා දිය හැකි අතර අවශ්‍ය වුවහොත් වෛද්‍යවරයෙකු සොයා ගැනීමට උපකාර කරනු ඇත. ක්‍රියාවලියේ සෑම පියවරකදීම මෙම සේවාව ලබා ගත හැක.

රැකවරණ නැවිගේටර් උපකාර සේවාවේ කාර්ය මණ්ඩලය සමඟ කථා කිරීම සඳහා:

අමතන්න: සදුඳා සිට සිකුරාදා පෙව 8.30 සිට පව 4.30 දක්වා දුරකථන අංක 1300 802 133 (රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින හැර)

ඊමේල්: NSLHD-VADCareNavigator@health.nsw.gov.au

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීම සඳහා මට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍යයි. මෙය සිදු කරන්නේ කෙසේද?

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ඔබ ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් කථා කිරීමට මනාප නම් ඔබ විසින් භාෂණ පරිවර්තකයෙකු භාවිතා කල හැකිය.

ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය නම් ඔබගේ වෛද්‍යවරයාට ඒ බව පවසන්න. වෛද්‍යවරයා විසින් භාෂණ පරිවර්තකයෙකු පිළියෙල කර දිය හැක. මෙය නොමිළේ ලබාදෙන සේවාවකි.

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර කිරීම සම්බන්ධයන් භාෂණ පරිවර්තනය කල හැක්කේ ඒ සඳහා විශේෂ පුහුණුවක් ලත් අය හට පමණි.

විශේෂ පුහුණුව නැති පවුලේ සාමාජිකයෙකු, මිතුරෙකු, රැකවරණකරුවෙකු හෝ වෙනත් සම්බන්ධතාවයක් ඇති අය විසින් භාෂණ පරිවර්තකයෙකු වශයෙන් කටයුතු කල නොහැක. මෙයට හේතුව NSW හි ඇති නීතියයි.

මානසික සෞඛ්‍යය උපකාර

ස්වේච්ඡාවෙන් මියයාමට උපකාර ලබා ගැනීම සම්බන්ධයෙන් කථා කිරීම, දුෂ්කර සහ කණගාටුදායක විය හැකිය. ඔබට උපකාර අවශ්‍ය නම් මෙම නොමිළේ ලබාගත හැකි සේවා අමතන්න:

  • දුරකථන අංක 1800 648 911 ඔස්සේ Transcultural Mental Health Line (සංස්කෘතීන් අතර මානසික සෞඛ්‍යය දුරකථන මාර්ගය) - සදුඳා සිට සිකුරාදා පෙව 9.00 සිට පව 4.30 දක්වා විවෘතව ඇත. ඔබගේ සංස්කෘතිය අවබෝධවන සායනිකයන් සමඟ කථා කල හැකි අතර ඔබගේ භාෂාවෙන් සන්නිවේදනය කල හැක.
  • දුරකථන අංක 13 11 14 ඔස්සේ Lifeline (ලයිෆ්ලයින්) - මෙම අර්බූද දුරකථන මාර්ගය පැය 24 පුරාම විවෘත ව ඇත.
  • දුරකථන අංක 1300 22 4636 ඔස්සේ Beyond Blue (බියොන්ඩ් බ්ලූ) - මෙම අර්බූද අවස්ථා දුරකථන මාර්ගය පැය 24 පුරාම විවෘත ව ඇත.
  • දුරකථන අංක 1800 011 511 ඔස්සේ Mental Health Line (මෙන්ටල් හෙල්ත් ලයින්) - ඔබව NSW හි මානසික සෞඛ්‍යය සේවා සමඟ සම්බන්ධ කිරීම සඳහා පැය 24 පුරාම විවෘතව ඇත.

වැඩිදුර විස්තර

Current as at: Friday 24 November 2023